May 30, 2019

රතන හිමිගේ බරපතල තීන්දුව අද : රිෂාඩ්ගේ විශ්වාසභංගය කොට උඩ Featured

ඇමැති රිෂාඞ් බදුයුදීන් හා ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් වහාම ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර නොගතහොත් අද (30 දා) තමන් වහන්සේ බරපතළ තීන්දුවක් ගන්නා බවත් එම තීන්දුව අද පස්වරු 4.00ට මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කියති.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ඊයේ (29) සවස රාජගිරියේ ගෝතමී පාරේ පිහිටි සදහම් සෙවණෙහි පැවති මාධ්‍ය හමුවකදීය.

තමන් වහන්සේ ගනු ලබන තීන්දුවට සමගාමීව රට පුරා අධිෂ්ඨාන පූජා පවත්වමින් බණ භාවනාවල යෙදෙමින් අධ්‍යාත්මික කටයුතුවල නිරත වන ලෙස සියලූම අධ්‍යාත්මිකවේදීන්ගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ සඳහන් කළහ.

තමුන්ට ඇත්තේ අවිහිංසාවාදයේ අවිය බැවින් ඒ බලයෙන් සියලූ බලවේග පරාජය කළ හැකි බව විශ්වාස කරන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

ඊ.පී.ආර්.එල්.එෆ. ඡන්දය රිෂාඩ්ට විරුද්ධයි

මේ අතර, රිෂාඞ් බදුයුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය තීරණය කොට ඇති බව වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා කියා සිටී.

පක්ෂ සාකච්ඡාවකදී ගත් තීරණයකදී ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ද ඊට එකඟ වූ බව පවසන සිවශක්ති ආනන්දන් මහතා මෙහිදී රිෂාඞ් අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනාවලට ඔහු වැරදිකරු වීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බව ද පවසයි.

ඒ අන්දමට ඔහු වැරදිකරුවකු වුවහොත් අනිවාර්යෙන්ම ජනාධිපතිවරයා විසින් රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයා සියලූම තනතුරුවලින් පහ කළ යුතුය යන මතයේ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය සිටින බව ද සිවශක්ති ආනන්දන් මහතා කියා සිටී.

බදුයුදීන් අමාත්‍යවරයාට මේ අවස්ථාවේදී විරෝධය පළ කළ යුතු වන්නේ ජාතිවාදී ස්වරූපයකින් නොව ඔහු විසින් සිදු කරන ලද වැරදි පදනම් කරගෙන බව ද මන්ත්‍රීවරයා වවුනියාවේදී පවසා සිටියේය.

විශ්වාසභංගය කොට උඩ

මේ අතර, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනාවේ කරුණු 12ක් ඇති බවත් එම කරුණු 12 ඔප්පුකර ගැනීමට මෙන්ම එම විශ්වාසභංගය ජය ගත නොහැකි බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ගුණරත්න මහතා මෙසේද කියා සිටී.

“රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කොට ඇත්තේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව. මම ගාව තියෙනවා රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව චෝදනා ඕනෑ තරම්. මේ රටේ විගනකාධිපති දුන්න වාර්තාව තියෙනවා. රිෂාඩ් බදුර්දීන් සෙල්ලම් කරපුවා, රටට පාඩු කරපුවා ඒවා සියල්ලම මම ගාව තියෙනවා. නමුත් මේ නිකන් ඇස් දෙක වහගෙන ක්‍රිකට් ගහනවා වගේ වැඩක්. ඔහේ වනනවා වගේ ගැහුවට මේකෙන් වදින්නේ නැහැ. මේ ඔක්කොම කරන්නේ ජනාධිපතිවරයායි, ආණ්ඩුවයි අමාරුවේ දාන්න.”

ඒකා බද්ධ විපක්ෂයේ ඉලක්කය

මේ අතර, අදාළ විශ්වාස භංගය පරාජයට පත්වන බවට පොදු විපක්ෂයේ අභ්‍යන්තර මතය වී ඇති අතර, විශ්වාසභංගයට සහය නොදෙන සියළු දෙනා එකමිටට ගෙන ඔවුන් රිෂාඩ්ගෙන් මුදල් ගෙන ඇති බව කියමින් ඉදිරියේදී දැවැන්ත උද්ඝෝෂණ හා විරෝධතා මාලාවක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර තිබෙන බවද පැවසේ.

විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රනත්වයෙන් පෙරේදා (28) රැස්වූ පක්‍ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවද මේ අතර වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top