අගමැතිවරු දෙදෙනෙකුගේ අර්බුදය නිමාවෙද්දී විපක්ෂනායකවරු දෙදෙනෙක්- රූපවාහිනියට සභාපතිවරු දෙදෙනෙක්... අගමැතිවරු දෙදෙනෙකුගේ අර්බුදය නිමාවෙද්දී විපක්ෂනායකවරු දෙදෙනෙක්- රූපවාහිනියට සභාපතිවරු දෙදෙනෙක්...
Dec 21, 2018

රූපවාහිනියටත් සභාපතිවරු දෙදෙනෙක් !

නව රජයේ මාධ්‍ය විෂය බාර අමාත්‍යවරයා ලෙස ඊයේ (20) දිනයේ රාජකාරි ආරම්භ කල මංගල සමරවීර අමාත්‍යවරයා විසින් ජාතික රුපවාහිනියේ නව සභාපති ලෙස ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද මහත්මිය පත්කර ඇතත්, දැනට සභාපති ධුරය දරන නීතිඥ සරත් කෝන්ගහගේ මහතාට එම ධුරයෙන් ඉවත් නොවන ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම්දීමක් කර ඇතැයි වාර්තාවේ.

ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද මහත්මිය අද (21) දිනයේ වැඩ බාර ගැනීමට නියමිත හෙයින් කෝන්ගහගේ මහතා සේවකයින් අමතා ඊයේ ආයතනයෙන් ඉවත්ව ගොස් ඇතත්, ජනාධිපතිවරයා ඊයේ රාත්‍රී ඔහුට දුරකථන ඇමතුමක් ලබාදෙමින් තනතුරින් ඉවත් නොවන ලෙසත් අද දිනයේ ජාතික රුපවාහිනිය හා ජාතික ගුවන් විදුලි සේවය තමා යටතට පත්කර ගන්නා බවත් ප්‍රකාශ කර ඇතයි ද පැවසේ.

ඒ අනුව අද යළි තමා සේවයට එන බව සරත් කෝන්ගහගේ මහතා රුපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට දැනුම් දී ඇත.

ජනාධිපතිවරයා විසින් අද දිනයේදී අමාත්‍යංශ ලේකම්වරුන් හා අමාත්‍යංශ වලට අදාළ ආයතන හා විෂයයන් ගැසට් කිරීමට නියමිතය. එහිදී ජාතික රුපවාහිනිය ඇතුළු වෙනත් අමාත්‍යංශ වලට අයත් විෂයන් කිහිපයක් ඔහු යටතේ තබා ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

තවත් ව්‍යවස්ථා අර්බුදයක් ශ්‍රේෂ්ඨාධිකරණයට !

19 වෙනි සංශෝධනයේ 50 (අ) වගන්තිය අනුව, ජනාධිපතිවරයා විසින් යම් විෂයයක් හෝ කර්තව්‍යයක් පවරා ගත හැක්කේ අග්‍රාමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව වන අතර, ඔහු යටතේ තබා ගත යුතු අමාත්‍යංශ තීරණය කළ හැකි වන්නේ ද එවැනිම එකඟත්වයක් මතය.

එමෙන්ම, 42, 43 සහ 44 වගන්තිවල සඳහන් වන පරිදි අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍ය යැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවල දී ඔහුගෙන් අදහස් විමසා අමාත්‍ය ධූර සංඛ්‍යාව, අමාත්‍යාංශ සංඛ්‍යාව සහ එකී අමාත්‍යවරුන්ට පවරන විෂය පිළිබඳ තීරණය කළ යුතුය.

"43 සහ 44 වගන්තිවලට අනුව ජනාධිපතිට පුළුවන් අමාත්‍යාංශ වෙනත් අයට භාර දෙන්න. නමුත් 19 වෙනි සංශෝධනයේ අවසාන වගන්තියෙන් (51 වෙනි වගන්තිය) විෂයන් තුනක අමාත්‍යංශ ජනාධිපති යටතේ තබා ගන්න පුළුවන් බලතල දීලා තිබෙනවා" යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාරිනී ආචාර්ය දිනේෂා සමරරත්න 'බීබීසී සිංහල සේවය'ට පැවසීය.

"අවසාන වගන්තියේ සඳහන් විෂයන්වලට අදාළ නොවන අමාත්‍යාංශ ජනාධිපතිතුමා යටතට ගැනීම කළ නොහැකියි. නමුත්, මේ වගන්තිවල සඳහන් සියල්ල යම් කෙනෙකු අභියෝගයකට ලක් කළ අවස්ථාවක දී අර්ථ නිරූපණය කරන්න පුළුවන්," ඇය තවදුරටත් පැවසීය.

"හැබැයි මෙහෙම දෙයක් තිබෙනවා. මාධ්‍ය වැනි විෂයයක් ජනාධිපති යටතට ගන්නව නම් එතන දී ප්‍රශ්නයක් මතු වෙනවා" යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් 'බීබීසී සිංහල සේවය'ට පැවසුවේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top